ලේඛක ලේඛිකාවන්ගේ ස්වයං චරිතාපදාන කියවීමෙන් සාහිත්‍ය කලා උගන්නා ආධුනිකයන්ට ලැබෙන අන්තර්දෘෂ්ටි ගැන කලින් ලිපියක ලියැවිණි. එහිදී සමර්සෙට් මෝම්ගේ කෘති දෙකක් ගැන ප්‍රධාන වශයෙන් සඳහන් කෙරිණි. මෙම රචනයේදී මා අවධානය යොමු කරන්නේ මෑතකදී සිංහල භාෂාවෙන් පළ වූ ස්වයං චරිතාපදාන හෝ මතක පොත් අතරට ගැනෙන කෘති කීපයක් ගැනය.
පසුගිය මාස කිහිපය තුළදී එවැනි පොත් දෙකක් මහනුවරදීම fදාරට වැඩියේය. ඒ අවස්ථා දෙකටම සහභාගි වන්නට ලැබීම වාසනාවක් විය. එක් පොතක් නවරත්න බණ්ඩාගේ මාතා: (අ)මරණීය මතක (2023) කෘතියයි. ඔහු 1987-89 කාලයෙහි ජවිපෙ දේශපාලනයෙහි නියුක්තවීම නිසා නොයෙක් දුක් ගැහැට විඳින්නට සිදුවූ කෙනෙකි. ඔහුගේ මහගෙදරද සන්නද්ධ හමුදා විසින් පුළුස්සා දමන ලදී. කෙසේ හෝ දිවි ගලවාගෙන නැවත දේශපාලනයට එන ඔහු 2004 වර්ෂයේදී මහනුවර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ජවිපෙ මන්ත්‍රීවරුන්ගෙන් කෙනෙක් වූයේය. ග්‍රාමීය නිර්ධන පාන්තික පසුබිමක ඉපිද හැදී වැඩී වමේ දේශපාලනයට යොමුවීම යනු කොතරම් නම් භයානක ඉරණමක් උරුම විය හැකි තෝරාගැනීමක්දැයි මේ පොතෙන්ද පැහැදිලි වේ. 1983 කළු ජූලිය දඩමීමා කරගෙන ඊට සම්බන්ධ නැති ජවිපෙ තහනම් කිරීමත්, ක්‍රමයෙන් ඒ පක්ෂය යටිබිම්ගත දේශපාලනයට තල්ලු කිරීමත් ජේ ආර් ජයවර්ධනගේ එක්සත් ජාතික පක්ෂයේ සැලැස්ම විය. ඒ අවස්ථාවේ ජවිපෙ කළ තෝරාගැනීමත් ජේආර්ගේ සැලැස්මට හසුවීමක්දැයි මෙවැනි පොත් කියවන විට අපට සිතේ. ඒ අවස්ථාවේ යෞවනයෙකුව සිටි නවරත්න බණ්ඩා තමන්ගේ දේශපාලන පක්ෂ නායකයන්ගේ දේශපාලන තෝරාගැනීම් වෙනුවෙන් ගෙවූ වන්දිය විස්තර කරන්නේ ඒ නායකයන් වෙත දෝෂාරෝපණය කරමින් නොවේ. නිදහසින් පසු ලංකාව පාලනය කළ දේශපාලන කණ්ඩායමේ දේශපාලන අභිලාෂ කෙසේද යත් නිර්ධන ග්‍රාමීය තරුණ තරුණියන් කීදාහක් ඒ අභිලාෂ වෙනුවෙන් මරා දැමිය යුතුද යන්න ඒ ප්‍රභූ පන්තියට කිසිම සැලකිල්ලක් නැත. 87-9 අරගලයේදී ජවිපෙ සටන්කරුවෝද සීමාන්තික ලෙස හිංසනය භාවිත කළහ. නවරත්න බණ්ඩාගේ කෘතියෙහි මේ ඉතිහාසය ගැන කෙරෙන ආවර්ජනය අර්ථවත්ය. පසු කලෙක ජවිපෙන් ඉවත් වූ ඔහු දැන් නිර්පාර්ක්ෂික සමාජ ක්‍රියාකාරිකයෙකු සේ ජීවත් වෙයි.
ගාමිණී මුතුකුමාරණගේ මතක ගිනි පුපුරු (2023) යනු 87-89 භීෂණ යුගය ගැන එවක ජවිපෙ නායක මට්ටමේ සිටි කෙනෙකු ලියූ පළමු කෘතිය විය හැකිය. මුතුකුමාරණ යනු ජවිපෙ මධ්‍යම කාරක සභා සාමාජිකයෙකු සේම ජවිපෙ සියලුම නායකයන් පාහේ ඇසුරු කළ කෙනෙකි. ඒ මට්ටමේ නායකයෙකුව සිට දිවිගලවා ගත් ඉතා සුළු පිරිසෙන් කෙනෙකි. 1990 දශකයේ මුල් කාලයේදී අත්අඩංගුවෙන් පලාගොස් තායිලන්තය ඔස්සේ ලන්ඩනයට ගිය ඔහු අදටත් එහි ජීවත් වේ. 87-9 යුගය ගැන මෙතෙක් ලියවුණු පොත්පත් අතර ඒ අභ්‍යන්තරය හොඳින්ම දැනසිටි කෙනෙකු විසින් ලියන ලද පළමු පොත මෙය යැයි කිවහැකිය. ස්වයං චරිතාපදානමය රචනයකදී යම් විෂයක් පිළිබඳ රචකයාගේ ආත්මීය සම්බන්ධය හා ඒ දෙස රචකයා බලන දෘෂ්ටිකෝණයද හෙළිවේ. නිදහසින් පසුව ලංකාව නම් රටෙහි ආර්ථික-දේශපාලන ව්‍යූහය පවත්වාගෙන යන ආකාරය හෙවත් ‘පවතින ක්‍රමය’ වෙනස් කිරීමට ග්‍රාමීය නිර්ධන පාන්තික ජනයාටත්, උගත් තරුණ තරුණියන්ටත් අවශ්‍ය වී ඇත්තේ ඇයි, එවැනි වෙනස් කිරීමකට ප්‍රයත්න දැරීම වෙනුවෙන් ඕනෑම පරිත්‍යාගයක් කරන්නට එවැනි පිරිස් සූදානම් වන්නේ ඇයි යනාදී ප්‍රශ්න වෙත අන් ලෙසකින් ලද නොහැකි අන්තර්දෘෂ්ටි සපයන්නටද මේ කෘතිය සමත් වෙයි. තමාද නායකයෙකු වූ දේශපාලන ව්‍යාපාරයේ ඇතැම් තෝරාගැනීම් පිළිබඳ විචාරාත්මක ආවර්ජනයක යෙදෙන්නටද ගාමිණී මුතුකුමාරණ පසුබට නොවේ.
මහනුවර කිංස්වුඩ් විද්‍යාලයෙහි නියෝජ්‍ය විදුහල්පතිවරයෙකුව සිටි ප්‍රේමදාස බටුගොඩද රසවත් මතකපොතක් මෑතකදී පළ කළේය. එය මහනුවරදී එළිදුටුයේ යැයි මා කී දෙවෙනි පොතයි. 71 මතකාවර්ජනයක් (2023) නම් වූ ඒ පොත ඒ නමින් ඇඟවෙන පමණටත් වඩා අර්ථවත් ස්වයං චරිතාපදානමය පොතකි. නුවර දිස්ත්‍රික්කයේ නිර්ප්‍රභූ හා නිර්ධන පාන්තික පසුබිමක උපන් බටුගොඩ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙහි ශිෂ්‍යයෙකුව සිටියදී 1971 කැරැල්ලට සම්බන්ධ විය. ආර්ථික අපහසුකම්වලින් පිරි ශිෂ්‍යයෙකු ලෙස 1966 වර්ෂයේදී විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ගෙවූ ජීවිතයෙහි තතුද, එම තතුම ඔහු 71 කැරලිකරුවෙකු වන්නට මෙහෙය වූ සැටිත් බටුගොඩගේ පොතෙහි සිත්ගන්නා ලෙස විස්තර වේ.
ලංකාවේ දකුණේ සේම උතුරේ ඇති වූ තරුණ කැරලි යනු ඒවාට සහභාගි වූ තරුණ තරුණියන්ගේ මනස්වලට විසබීජයක් යාමෙන් ඇති වූ ලෙඩක් නොවේ. තමන් උපන් රටෙහි අභිමානවත් පුරවැසියන් ලෙස ජීවත්වීමේ ආශාව හා අවශ්‍යතාව ඒ තරුණ නැගිටීම් සියල්ල පිටුපසම තිබේ. මෙතෙක් සඳහන් කෙරුණු පොත්වල ඒ අභිලාෂයේ විවිධ ස්වරූප ඉතා හොඳින් නිරූපණය වේ.
මේ රටේ ප්‍රභූ පාලක පන්තිය තමන්ට අවශ්‍ය ආකාරයට සාදාගත් ලංකාවේ රාජ්‍යය රැඩිකල් වෙනස්කම්වලට බඳුන් නොකර ආරක්ෂා කරන්නට කොයි තරමක වුවත් රුධිර ගංගාවක් ගලා යවන්නට වුවද පසුබට නොවන සැටි පොත් තුනේම පෙනේ.
මෙවැනි නිර්ප්‍රභූ චරිත තම ජීවිත සම්බන්ධයෙන් පොත පත ලිවීම ඉතා අර්ථවත් ක්‍රියාවකි. එමගින් ඔවුන්ගේ ජීවන යථාර්ථ ගොඩනැගුණු සැටි පමණක් නොව ඒ ජීවන යථාර්ථ වෙත ඔවුන් ප්‍රතිචාර දැක්වූ ආකාරයද අපට දැනගන්නට ලැබේ.